ආදි කාලයේ සිට ම කෘෂිකර්මය ආශ්‍රිත විවිධ දේ නිෂ්පාදනය කරන්නට ජනයා පුරුදුව සිටියහ.මේවා හුදෙක් කර්මාන්ත ලෙස හැඳින්විය හැකි ය.දෑතේ වීරියෙන් ඒවා නිෂ්පාදනය කෙරිණි බලය ලෙස බහුලව යොදා ගැනුණේ මිනිස් ශ්‍රමයයි. ගෘහ නිෂ්පාදන, කර්මාන්තශාලා නිෂ්පාදන බවට පත් වූයේ විවිධ යන්ත්‍ර නිෂ්පාදනය කිරීම නිසාය.කර්මාන්තශාලාවල වාෂ්ප බලය, ගල් අඟුරු, ඉන්ධන ආදිය යොදා ගැනිණි. කර්මාන්තශාලා බිහිවීම නිසා එතෙක් පැවැති සමාජ ආර්ථික ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් විය.කම්මල් හිමි ධනපති පංතියක් හා කම්හල් වල සේවක කරන කම්කරු පංතියක් බිහි විය. කම්කරු පන්තිය වැටුප් ලබන්නන් බවට පත් විය. කර්මාන්තශාලාවල දිනක නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවිණි. මේ නිසා භාණ්ඩවල මිල පහළ බැස්සේය.නිෂ්පාදන ප්‍රමාණය වැඩි වීම නිසා නව වෙළඳපොළ සොයන්නට සිදුවිය සමාජයට අලුත් දේ පරිහරණය කරන්නට පුරුදු කිරීමේ අවශ්‍යතාවය පැන නැංගේ ය.1760 සිට 1830 යුගයේදී මෙම වෙනස් වීම් බහුලව සිදු වූයේ එංගලන්තයේ යකඩ වානේ ගල් අඟුරු හා රෙදිපිළි කර්මාන්තයේහිය.පසුව එම වෙනස්වීම් අනෙක් කර්මාන්ත කෙරෙහි ද අනෙක් ප්‍රදේශ වෙත ද පැතිරී ගියේය. පසු කාලයේදී කාර්මික විප්ලවය යැයි නම් ලැබුවේ මෙම වෙනස්කම් ය.කාර්මික විප්ලවය නිසා මුළු ලෝකයේ ම සමාජ ක්‍රමය වෙනස් විය.
කාර්මික විප්ලවයේ පසුබිම
18 හා 19 වන ශතවර්ෂවල දී බ්‍රිතාන්‍යයේ කෘෂි හා කාර්මික වශයෙන් විශාල වෙනස්කම් සිදුවිය. මෙම අවධිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ ලොව බොහෝ රටවල් යටත් විජිත ලෙස පවත්වාගෙන ගිය කාලය යි.තම රටේ කර්මාන්ත දියුණුව සඳහා යටත් විජිතවලින් අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි විය.බ්‍රිතාන්‍ය රජය විසින් ද නව සොයාගැනීම් කරන්නන්ට ත්‍යාග පිරි නැමීම,නව නිෂ්පාදන සඳහා නීත්‍යානුකූල අයිතියක් ලබා දීම, වෙළඳ ලකුණු පිළිගැනීම ආදිය නිසා බ්‍රිතාන්‍ය කර්මාන්ත ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති විය.පුද්ගලික අංශය ආර්ථික කටයුතු වලට රජය මැදිහත් නොවීමේ පිළිවෙත මුලින්ම යොදා යොදාගත්තේද බ්‍රිතාන්‍යයි.ඇඩම් ස්මිත් විසින් ඉදිරිපත් කළ නිදහස් වෙළඳාම පිළිබඳව සංකල්පය බ්‍රිතාන්‍ය විසින් ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්නා ලදී.කෘෂිකාර්මික කටයුතු වල ඇති කරන ලද නවීකරණ නිසා කෘෂි නිෂ්පාදන වර්ධනය විය. ඒවායින් ලැබුණු අතිරික්තය කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉඩම් හිමියෝ කටයුතු කළහ. කර්මාන්ත සඳහා යොදාගත හැකි ඉන්ධන ලෙස ගල් අඟුරු බ්‍රිතාන්‍යයේ භූමියෙන්ම සපයා ගත හැකි විය.19වන ශත වර්ෂයේ කාර්මික විප්ලවය එංගලන්තයේ සිදුවූයේ මෙම පසුබිම මත ය.එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවය පසු කලෙක ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය,ජර්මනිය ආදී රටවලටද පැතිර ගියේය.
රෙදිපිළි කර්මාන්තය ට නව යන්ත්‍ර
රෙදිපිළි කර්මාන්තයේ ප්‍රධාන අංග දෙක වන නූල් කැටීම සහ රෙදි විවීම සඳහා විවිධ යන්ත්‍ර බිහිවිය. මෙයින් වඩාත් ඵලදායි වූයේ 1769 දී ආක්රයිට සොයාගත් ජල රාමුව යි. එයින් නූල් කැටීම වේගවත් විය.බලය සපයන ලද්දේ ජලයෙනි.
පහසුවෙන් ජලය ලැබෙන ස්ථානවල නූල් කැටීමේ කර්මාන්ත ශාලා බිහි විය. 1779 දී ක්‍රොම්ප්ටන් විසින් මියුලය සොයාගැනීමත් සමග මටසිලිටු නූල් නිෂ්පාදනය කළ හැකි විය.
දෙවනුව රෙදි විවීමේ යන්ත්‍ර බිහි විය. 1785 දී කාට්රයිට් විසින් බලවේග යන්ත්‍රය නිර්මාණය කළේය.පසුව එය එංගලන්ත ය රෙදි කම්හල් වල යොදා ගැනිණි. රෙදි කම්හල් සඳහා අවශ්‍ය කපු නිෂ්පාදනය ද වැඩි විය.කපු පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් 1793 දී එලි විට්නි විසින් නිපදවනු ලැබිණි.
යකඩ හා වානේ
යපස් උණු කිරීම සඳහා විවිධ යන්ත්‍ර නිර්මාණය කරනු ලැබිණි. ඒ නිසා යකඩ නිෂ්පාදනය වැඩි විය යකඩවලට වඩා වානේ ශක්තිමත් විය.යකඩවලින් පොස්පරස් ඉවත් කර වානේ නිපදවන්නට පටන් ගැනිණි. මේ නිසා එංගලන්තයේ යකඩ හා වානේ කර්මාන්ත ද සමාන්තරව දියුණු විය.
ගල් අඟුරු කර්මාන්තය
කර්මාන්තශාලා සඳහා ඉන්ධන වශයෙන් ගල් අඟුරු අවශ්‍ය විය. එංගලන්තයේ ගල් අඟුරු කර්මාන්තය ද දියුණු විය. ගල් අඟුරු ආකර වල ජලය පිරීම වැළැක්වීමට හා පිරුණු ජලය ඉවත් කිරීමට 1763 දී ජේම්ස් වොට් විසින් නිපදවූ වාෂ්ප යන්ත්‍රය යොදා ගැනිණි. ආකර තුළට පිරිසිදු වාතය යැවීමේ ක්‍රමයක් 1837 දී සොයා ගැනිණි. අවසාන ඵලය වූයේ එංගලන්තය ගල් අඟුරු කර්මාන්තය ද දියුණු වීමයි.
ශ්‍රම විභජනය
කර්මාන්තශාලාවල යන්ත්‍ර ක්‍රියාකරුවන් හා යන්ත්‍ර ආශ්‍රිත කාර්යයෙහි යෙදීමේදී වැඩ බෙදීම සිදු විය.වැඩ කුඩා කොටස් වලට බෙදන ලදී.ඒ අනුව එක් තැනක තිබුණේ එක සමාන වැඩක් පමණි. තවත් තැනක ද ඒ ආකාරයෙන් විය. එම නිසා ශ්‍රමය බෙදීමක් හෙවත් ශ්‍රම විභජනය නැමැති සංකල්පය කර්මාන්ත ශාලා තුළ ඇති විය.
විශේෂ ප්‍රාගුණ්‍යය
කර්මාන්ත ශාලාවක් තුල එකම කාර්යයක් දවස පුරා දිගින් දිගටම කිරීම නිසා ශ්‍රමිකයන්ට ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් හෙවත් විශේෂ ප්‍රාගුන්‍යයක් ඇතිවිය. මේ නිසා කර්මාන්තශාලා ආශ්‍රිතව පුහුණු ශ්‍රමය යන සංකල්පය බිහිවිය. යම් වැඩක් කිරීමේ පුහුණුවක් තිබීම අනුව රැකියා සොයා ගත හැකි විය.
තත්ත්ව පාලනය
කර්මාන්තශාලාවේ යන්ත්‍රාගාරය තුළ එක් පසෙකින් අමුද්‍රව්‍ය ඇතුළු කරන අතර අනෙක් පසින් නිම කළ භාණ්ඩ ලැබිණි. එම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී ඒ ඒ අදියර නිසි පරිදි නිම කිරීම අත්‍යවශ්‍ය විය. ඒ නිසා ඒ ඒ අදියරයේ දී හා නිමි භාණ්ඩ තේරීමේදී ඒවා නිසි ගුණාත්මක බවින් යුක්ත දැයි සොයා බලන්නට සිදුවිය. කර්මාන්ත ශාලා තුළ තත්ත්ව පාලනය පිළිබඳ සංකල්පය ඇති වූයේ ඒ නිසාය. එසේ තත්ත්ව පාලනය කිරීම වෙනම රැකියාවක් බවට ද පත්විය.
කාර්මික විප්ලවය සිනමාව තුළින්
ප්‍රංශයේ පිහිටි සිය කර්මාන්තශාලාවේ සේවකයින් වැඩ ඇරී යන දර්ශන ඇතුළත් කොට එහි හිමිකරුවන් වූ ලුමියේ සහෝදරයින් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටිය 1895 දෙසැම්බර් 28 වැනි දින පළමුවරට ප්‍රදර්ශනය කරන ලදී. 1936 දී නිර්මාණය කරන ලද Modern times නිහඬ චිත්‍රපටයෙන් දැක්වෙන්නේ කාර්මික විප්ලවයෙන් බිහි වූ කර්මාන්ත ශාලාවක් තුළ මිනිස් සමාජ යාන්ත්‍රීකරණය වී ඇති ආකාරයයි.මිනිසා හා යන්ත්‍ර අතර ගොඩනැඟුණු සම්බන්ධය ඉතා මැනවින් මෙම චිත්‍රපටයෙහි විදහා දැක්වෙයි.මෙහිදී දැක්වෙන්නේ මිනිසා ද අවසානයේ දී යන්ත්‍රයක් වූ බවයි.
No comments:
Post a Comment