අඟහරු ගවේෂණයට මිනිසුන් යැවිය යුතු බවත් නාසා ආයතනයේ ආයතනයේ වෙනුවෙන් කැපවී පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් (Space X) සමග අත්වැල් බැඳගෙන එම වික්‍රමය සිදු කරනු ඇති ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
කෙසේ නමුත් මිනිසා අඟහරු වෙත යෑම නුවණට හුරු නැති බවත් එය මහා මෝඩ වැඩක් බවත්, විශ්‍රාමක ඇමරිකන් ගගනගාමී බිල් ඇන්ඩර්ස් කියයි. ඇන්ඩර්ස් මේ බව කියා සිටියේ BBC ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
නව අධ්‍යයනයකින් පෙනී ගොස් ඇත්තේ අඟහරු ගමනකට එක්වන ගගනගාමීන් ලියුකේමියා රෝගීන් වීමේ අවදානම ඉතා වැඩි බවය. අගහරු යෑමට වසර තුනක් ගත වෙයි. එය සැතපුම් මිලියන 104 ක දීර්ඝ ගමනකි. එහි දී අගහරු යන ගගනගාමීහු විකිරණවලට නිරාවරණය වෙති. ලියුකේමියා රෝගීන් බවට ගගනගාමින් පත් වේවි යැයි විද්‍යාඥයින් විසින් අනාවරණය කර ගනු ලැබුවේ මීයන් යොදා ගනිමින් කළ පරීක්ෂණවලදී ය. අභ්‍යවකාශයේදී නිරාවරණය වන ආකාරයේ විකිරණ ප්‍රමාණයකට මෙම මීයන්ද ලක් කෙරුණි. එහි දී ලේ විස වි, මියන්ගේ සිරුරේ පිළිකා සෛල ශීඝ්‍රයෙන් වර්ධනය විය. ඒ සති දෙකක් ඇතුළත දීය. මීයන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුළුමනින්ම අඩපණ විය. සිරුරු දුර්වල විය. මීයන් යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදු කළෝ 'වේක් ෆෙරස්ට්' වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂකයෝය.
අගහරු යන මෙහෙයුමකදී මුහුණ පාන්නට වන ප්‍රධාන අභියෝගය වන්නේ රොකට් සදහා ප්‍රචාලන මාධ්‍යයක් සොයා ගැනීමය. රසායනික ඉන්ධන යෙදූ රොකට්ටු මගින් අඟහරු වෙත මිනිසුන් යවා ඔවුන් ආපසු ගෙන්වා ගැනීම පහසු නොවන බව පැවැසෙයි. ඒ සදහා ප්ලාස්මා ඉන්ධන යොදා ගැනීම වඩාත් සුදුසු බවට මතයක් පවතී. ඒ අතින් කෙරෙන පරීක්ෂණ නිම වෙන්න තවත් දශක කිහිපයක් ගත වෙයි. මේ ප්‍රචාලන ඉන්ධන ගැටළුව විසඳා ගැනීමට නම්, තවත් ඉතා බරපතළ ගැටලු පහක් විසඳිය යුතුව ඇත. කොස්මික් කිරණවලට මුහුණදීම, සිරුරේ මාංස පේෂි හා අස්ථි ක්ෂය වීම, මානසික ආතතිය, අගහරු ග්‍රහයා මතට ගොඩ බැසීම, ගගන ගාමීන් පිරිසට දිගු කාලයක් සදහා ආහාර සැපයීම යනු එම ගැටලුය.
හිරුගේ මතුපිට ඇති වන සූර්ය කුණාටුවලින් නිකුත් වන හානිකර කිරණවලින් හා වෙනත් ගැලැක්සිවලින් එන අන්තරාකාරී කොස්මික් කිරණවලින් පෘථිවිය මතුපිට දී ඔබට ආරක්ෂා කර ගනු ලබන්නේ පෘථිවි වායුගෝලයත් එහි ඇති චුම්බක ක්ෂේත්‍රයක් විසිනි. ඒත් අභ්‍යවකාශයේ ඉන්නා විට එම ආරක්ෂාව ලැබෙන්නේ නැත. විකිරණ නිසා සිරුරේ D N A පද්ධතියටත් මොළයේ සෛලවලටත් හානි සිදුවිය හැකිය. පිළිකා අවදානම වැඩිය. ඇපලෝ ගගනගාමීන්ට මේ සූර්යකුණාටු වලට මුහුණදෙන්නට සිදු නොවුණත්, අගහරු ගමනේදී අඩුම තරමින් එක් සූර්ය කුණාටුවකට හෝ මුහුණ දීමට නියත වශයෙන් ම සිදුවේවි යැයි අනුමාන කෙරේ .
අභ්‍යවකාශයේදී මුහුණපාන්නට වන තවත් ප්‍රධාන ගැටලූවක් වන්නේ ගගනගාමීන්ගේ සිරුරු වල මාංස පේශී හා අස්ථි ක්ෂය වීමය. මෙය සිදුවන්නේ ගුරුත්වාකර්ෂණය නැතිකම නිසාය. අභ්‍යවකාශයෙහි මාසයක් ගත කරන අභ්‍යවකාශගාමීයකුගේ සිරුරෙහි පේශි වල ස්කන්ධය සියයට 20 කිනුත් අස්ථිවල ස්කන්ධය සියයට 1.5 කිනුත් අඩු වෙයි. මාස රස ගණනාවක් තිස්සේ යන ගමනකදී මෙසේ පේශිවල ස්කන්ධය ක්ෂයවීම සීයයට 50 ක් දක්වා වැඩි විය හැකිය. මෙයට පිලියමක් වශයෙන් ව්‍යායාම කිරීම් යෝජනා කර තිබේ. "අපේ සියලුම ක්‍රියාකාරකම් හා චලන සිදු කරන්නේ ගුරුත්වාකර්ෂණය නිසයි. අගහරුගේ ගුරුත්වාකර්ෂණය වෙනස් නිසා ඊට ගැළපෙන ආකාරයේ චලන හැසිරවිමට හා ක්‍රියාකාරකම් සිදු කිරීම ගැන විශේෂ අවධානයකින් පුහුණුවීම් කරන්න ඕනෑ" සියැටල්හි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ විකාලංග හා ක්‍රීඩා වේදය පිළිබඳ මහාචාර්ය පීටර් කවනාග් පෙන්වා දී ඇත.
අභ්‍යාවකාශ ගමනේ දී ගඟනගාමියෙකුගේ සිරුරේ පේෂී හා අස්ථි හොඳින් ආරක්ෂා කර ගත්තත් මනස රෝගී වීම වැලැක්වීමට නොහැකි වුවහොත් ඔවුහු මානසික රෝගීන් බවට පත් වෙයි. මුලින් ම එවැනි තත්ත්වයන්ට ගොදුරුවීමේ අවදානමක් ඇති අය මේ වැඩසටහනට ඇතුළත් නොකර ගත යුතු බව වෛද්‍ය පරීක්ෂකයෝ පෙන්වා දෙයි.
No comments:
Post a Comment